Saturday, August 1, 2015







ප්‍රීතිමතාණ....

සිනාපිරි මුවින් ඉඳ ජීවිතේ රස බැලුව
එක්තරා අයෙක් ඇත කඳුළ අමතක කෙරුව
කිසිවෙකුට මුණ ගැසී නැති නමුත් කිසි දිනෙක
කියා දෙයි ඔහු සැමට කුමක්දැයි දිවි අරුත

‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡

විහඟෙක්ය ඔහු ඈත නිල් ගුවන් ගැබ සරන
පියාපත් පමණක්ය එකම බර ඔහු දරන
ඒ බරද  නොවේ නම් මනා වේ යැයි සිතන

සෙව්වාද ඔහු යමක් දිවිය තුළ
මීවිතක පෙණ බුබුළු ලෙස නැගෙන
හුදකලා නිවහල් බවම මිස

නිල් ගුවන මත දිලෙන සදත්
තරු පොකුරු පිරිවරා ඇති බැවින්
රෝෂයෙන් සිටියාලු ඔහු සමග

තෘප්තියෙන් පිරී ගිය මධු බඳුන්
සිනාවෙන් පිරීගිය සැදෑවන්
ඔහු පතන ලෝකයම එපමණකි

ඔහු වටා සැරිසරණ මිතුරු සිත්
එකින් එක ගිලිහෙමින් යන විටත්
සිනාසී තිබේ ඔහු තව තවත්

එක් පෙතිව එකලාව හිඳි නමුත්
නොවැළපුණි කිසි දිනෙක ලිලීමල්
සතුටු වූවා පමණි නිදහසින්

‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡

දෑස් මත තෙත තබා අහිමි වී යන බැවින්
කුමකටද ඉතින් මේ බැදීමන්
ඔහු පිවිසි මගට බැස යන ගමන්
ඔහුම වන්නට පතමි මම මගේ මුළු හදින්

බී.ජී.එම්. ජනප්‍රිය